NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

උපදේශනය

1990 දශකයේ අග භාගයේ සිට, ශ්‍රී ලංකා බිම්බෝම්බ තහනම් කිරීමේ ව්‍යාපාරය (SLCBL) ශ්‍රී ලංකා පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (APMBC), පොකුරු බෝම්බ පිළිබඳ සම්මුතිය (CCM), සම්මත යුධ අවි පිළිබඳ සම්මුතිය (CCW) සහ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCRPD) සඳහා ප්‍රවේශ වීම සහ අපරානුමත කිරීම වෙනුවෙන් උපදේශන සැපයීය.

2015 දී, SLCBL විසින් “පශ්චාත් යුද ශ්‍රී ලංකාව පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කළ යුත්තේ ඇයි”; “පශ්චාත් යුධ ශ්‍රී ලංකාව පොකුරු බෝම්බ තහනම් කළ යුත්තේ ඇයි” සහ “පශ්චාත් යුධ ශ්‍රී ලංකාව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුමත කළ යුත්තේ ඇයි” යන මැයෙන් ප්‍රකාශන තුනක් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ප්‍රකාශන තුන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින්, සම්මුතිවල ගිවිසුම් පාඨය සමඟ ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ප්‍රකාශන ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ සමාන අදහස් දරන පුද්ගලයින් වෙත පිළිගැන්විණි.  

2016 දී, SLCBL විසින් APMBC සහ CCM වෙත තවදුරටත් ප්‍රමාදයකින් තොරව ශ්‍රී ලංකාව ඇතුළත් වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින්, හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තිකයන්, ආයතනික අංශයේ සාමාජිකයින් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්ව ඇතුළු 131 දෙනෙකු විසින් මෙම පෙත්සම අත්සන් කර ඇත.     

SLCBL විසින් සාර්ථක උපදේශනයෙන් පසුව, ශ්‍රී ලංකාව 2016 පෙබරවාරි 8 වන දින CRPD අනුමත කරන ලද අතර APMBC සහ CCM වෙත පිළිවෙළින් 2017 දෙසැම්බර් 13 සහ 2018 මාර්තු 1 වැනි දින ඇතුළත් විය.  

ශ්‍රී ලංකාව CCM හි රාජ්‍ය පාර්ශවයන්ගේ (MSP) 9 වැනි රැස්වීමේ මුලසුන හෙබවීය. ශ්‍රී ලංකාව විසින් CCM හි රාජ්‍ය පාර්ශවයන්ගේ 9 වැනි රැස්වීමේ මුලසුන හෙබවූ කාලය තුළ, අප රට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගත් අතර ජාත්‍යන්තර මානුෂීය නිරායුධකරණ ප්‍රජාවේ පැසසුමට ලක් විය. රාජ්‍ය පාර්ශවයන්ගේ 9 වැනි රැස්වීම යනු දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාව CCM හි මුලසුන හෙබවූ පළමු අවස්ථාවයි. CCM හි රාජ්‍ය පාර්ශවයන්ගේ 9 වැනි රැස්වීමේ මුලසුන හෙබවීම වෙනුවෙන් SLCBL විසින් ශ්‍රී ලංකාවට උපදේශකත්වය සැපයීය. ශ්‍රී ලංකාව විසින් ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති CCM හි මුලසුන හෙබවූ කාලය තුළ ද SLCBL වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.    

2018 මාර්තු මාසයේදී APMBC හි විශේෂ නියෝජිත මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණියේය. සම්මුතියේ 163 වැනි රාජ්‍ය පාර්ශවය (සම්මුතියේ 20 වැනි සංවත්සරය අතරතුර) බවට පත්වීම සම්බන්ධයෙන් කුමරු ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කළ අතර ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන පැසසුමට ලක් කළේය. මිරෙද් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත දකුණු ආසියානු කලාපයටම ඓතිහාසික එකක් වූ අතර, එය APMBC හි විශේෂ නියෝජිතයාගේ කලාපයට සිදු කළ පළමු සංචාරය විය. 2018 මාර්තු 4 සිට 7 දක්වා APMBC විශේෂ නියෝජිත මිරෙද් කුමරුගේ මෙරට සංචාරය සම්බන්ධීකරණය කිරීමට SLCBL රජයට සහාය විය.

2030 දී ශ්‍රී ලංකාව විසින් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීමට පෙර (ජාතික බිම්බෝම්බ කාර්යය උපායමාර්ගයේ දක්වා ඇති පරිදි) APMBC හි රාජ්‍ය පාර්ශ්වයන්ගේ රැස්වීමේ මුලසුන හෙබවීමට SLCBL විසින් ශ්‍රී ලංකාව දිරිමත් කරයි.

CCM සහ UNCRPD ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හරහා දේශීය රෙගුලාසි සම්මත කිරීම සහ පුපුරා නොගිය යුධ උපකරණ පිළිබඳ CCW ප්‍රොටෝකෝලය V (අනුමත කිරීමෙන් පසු සම්මත කළ යුතු දේශීය රෙගුලාසි) අනුමත කිරීම සඳහා SLCBL අඛණ්ඩව පෙනී සිටියි.

ශ්‍රී ලංකාව 2022 දී APMBC ක්‍රියාත්මක කරන දේශීය රෙගුලාසි සම්මත කරන ලදී.  

2005 දී, බිම්බෝම්බ තහනම් කිරීමේ උපදේශන සංසදය (Landmine Ban Advocacy Forum), ස්වේච්ඡා වගන්ති 7 විනිවිදභාවය පිළිබඳ වාර්තාවක් APMBC වෙත ඉදිරිපත් කිරීමට රජයට සාර්ථක ලෙස බලපෑම් කරන ලද අතර CCW සහ එහි ප්‍රොටෝකෝලයන්හි පාර්ශවකරුවෙකු වීමට ශ්‍රී ලංකාව දිරිමත් කළේය. SLCBL ජාතික බිම්බෝම්බ කාර්යය උපායමාර්ග සැකසීමට දායකවී ඇති අතර, ජාතික හා ජාත්‍යන්තර බිම්බෝම්බ කාර්යය වැඩමුළු, CRPD පිළිබඳ උපදේශන සංසද/ සාකච්ඡා, සහ සිදුවීම් සඳහා සම්බන්ධ වී ඇති අතර බිම්බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය, APMBC සහ CCM හි රාජ්‍ය පාර්ශවකරුවන්ගේ රැස්වීම් ඒ අතර වේ.

2018 දී, SLCBL විසින් රජයේ චිත්‍රපට ඒකකය සමඟ සහයෝගයෙන් කටයුතු කර, “බිම්බෝම්බ වලින් තොර භූමියක් කරා” (Quest for a Mine-Free Land) නමින් වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන ලද අතර, එය 2018 දී ජිනීවා හි පැවති APMBC හි 17 වන MSP අතරතුර තිරගත කරන ලදී. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම උත්සවය සංවිධානය කර සහාය දක්වන ලදී.

2019 දී, SLCBL විසින් කැනඩා රජයේ සහාය ඇතිව “නොබිය පියවර: ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ කාර්යයේ නියුතු කාන්තාවන්” (Stepping Without Fear: Women in Mine Action in Sri Lanka) පිළිබඳ වාර්තා චිත්‍රපටයක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් නිෂ්පාදනය කරන ලදී. එමඟින් "ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ කාර්යයේ කතාව: ජයග්‍රහණ, අභියෝග සහ අවස්ථා" ද ප්‍රකාශයට පත් කළේය. වාර්තා චිත්‍රපටිය සහ ප්‍රකාශනය නෝර්වේ හි පැවති APMBC හි 4 වන සමාලෝචන සමුළුවේදී තිරගත කර දියත් කරන ලදී.  

APMBC, CCM සහ CRPD සඳහා ශ්‍රී ලංකාව තුළ සාර්ථක උපදේශන කටයුතුවලින් අනතුරුව, SLCBL මෙම ප්‍රධාන සම්මුතීන් තුනට සහ අනෙකුත් අදාළ සම්මුතීන්ට ප්‍රවේශ වීම හෝ අනුමත කිරීම සම්බන්ධයෙන් කලාපීය රාජ්‍යයන් වෙත ළඟා වීමේ ක්‍රියාවලියක නියැලී සිටී. එහි පළමු මෙහෙයුම ලෙස, SLCBL ලේකම් කාර්යාලය, නිරායුධකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය (FDD) 2018 දී මාලදිවයින් රජය හමුවීමට මාලදිවයිනේ සංචාරය කළ අතර, CCM සහ අනෙකුත් සම්මුතීන් වෙත ඔවුන්ගේ ප්‍රවේශය පිළිබඳව සාකච්ඡා කළේය. මාලදිවයින 2019 දී CCM, ආයුධ වෙළඳාම පිළිබඳ ගිවිසුම (ATT) සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුම (TPNW) සඳහා එකඟ විය. FDD විසින් බංගලාදේශ සහ භූතාන රාජ්‍යයන් ද CCM සහ අනෙකුත් සම්මුතීන් වෙත ප්‍රවේශ කරවීම වෙනුවෙන් අඛණ්ඩව උපදේශන ලබාදුන් අතර බංග්ලාදේශය 2019 දී TPNW අපරානුමත කරන ලදී.

SLCBL හි යොවුන් පාර්ශ්වය ජාත්‍යන්තර මානුෂීය නිරායුධකරණ ප්‍රජාව සමඟ APMBC සහ CCM වෙත රාජ්‍ය පාර්ශවයන්ගේ රැස්වීම් සඳහා ඔවුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය තුළින් අඛණ්ඩව සම්බන්ධ වේ. ඔවුන් කැනඩාවේ බිම්බෝම්බ කාර්යය විසින් සහාය දක්වනු ලබන කැපවූ සහ පළපුරුදු තරුණ නායකයින් කණ්ඩායමක් වන Mine Action Fellows හි කොටසක් ද වේ. SLCBL හි යොවුන් පාර්ශ්වය, ව්‍යාපාරය සමඟ ඔවුන්ගේ ක්‍රියාකාරී නියැලීම හරහා, විශේෂයෙන්ම ලිපි ඇතුළු ලිඛිත කරුණු සහ ප්‍රචාරක ප්‍රකාශන සඳහා දායක වීම හරහා ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටීමට සහය දක්වා ඇත.  

අතීතයේදී, SLCBL දකුණු ආසියානු ජාත්‍යන්තර හවුල්කාරිත්වය (SAPI), අන්තර් ආගමික සාම පදනම (IRPF), මානුෂීය නියෝජිතායතන සම්මේලනය යටතේ බිම්බෝම්බ තහනම් කිරීමේ උපදේශන සංසදය, දකුණු ආසියාවේ කුඩා අවිආයුධ ජාලය (SASA Net) සහ ආබාධිත තැනැත්තන් පුනරුත්ථාපනය සඳහා වූ ශ්‍රී ලංකා පදනම යටතේ ක්‍රියාත්මක විය. 2018 සිට, SLCBL නිරායුධකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය (FDD) යටතේ ක්‍රියාත්මක වේ.  

SLCBL, 1997 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගයේ සම-ත්‍යාගලාභියා වන බිම්බෝම්බ තහනම් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරය (ICBL), සහ පොකුරු අවි පිළිබඳ සන්ධානය (CMC) සමඟ අනුබද්ධ වී ඇත.  

Skip to content